Pages

Friday, September 22, 2017

චතූර් පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ / narayan Bhatkhande

                          1860 වර්ෂයේ අගෝස්තු 13 වැනි දින උපත ලද භාත්ඛණ්ඩේ පඩිතුමා හින්දුස්ථානී සම්භාව්‍ය සංගීතයේ ප්‍රගතියට හා වර්ධනයට ඉමහත් සේවයක් කළ ඉන්දියානු මහා රාෂ්ට්‍ර ජාතිකයෙකි.


                          මොහුගේ පියා නාරායන් රාවෝ හෙවත් මුනිම් නම් විය. ඔහු බොම්බාය නගරයේ වෙළද කටයුතු වල නිරත වූ පොහොසත් තැනැත්තෙකි. එමෙන්ම ඔහු එක්තාරය නැමති සංගීත භාණ්ඩය ඉතා දක්ෂ ලෙස වාදනයට සමත් විය. භාත්ඛණ්ඩේ පඩිතුමා ගේ මව දරු නැළවිලි ගායනයට සහ භජන් ගායනයට අති දක්ෂ තැනැත්තියක් වූ අතර වැඩිමහලු සොහොයුරු දිල්රුබාව වාදනයට දක්ෂතාවයක් දක්වා ඇත. එබැවින් මෙතුමාද කුඩා කල සිටම සංගීතයට ඇල්මක් දැක් වූ කෙනෙක් විය. මව ගීත ගායනය කළ ආකාරයෙන් ම කවර ගීයක් වුවද ගැයීමට ඔහු ද දක්ෂයෙක් විය.

                        "අන්නා" යන සුරතල් නාමයෙන් හැදින්වුණු පඩිතුමා වයස අවඅරුදු දහය පමණ වන විට බට නලා වාදනයට නැඹුරු වූ නිසා පසුව දක්ෂ බට නලා වාදකයෙක් විය. මෙතුමාට බට නලා වාදනය සදහා පාසල් වියේ දී ත්‍යාග හා සම්මාන ලැබී තිබේ.

                        ශ්‍රී වල්ලබ්දාස් සහ ගෝපාල් ගිරිතුමා යන ගුරුවරුන් දෙදෙනාගෙන් භාත්ඛාණ්ඩේ  පඩිතුමා උසස් අධ්‍යාපනය හැදෑරීය. වසර කිහිපයක්  තුළ දී සිතාර් වාදනයේ අති දක්ෂයෙකු වූ මෙතුමාට සමාජයේ මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබිණ.

                       1885 වර්ෂයේ දී මෙතුමා උපාධිධාරියෙකු බවට පත් විය. ඉන් පසු මෙතුමාගේ අරමුණ වූයේ සංගීතය පිළිබද ශ්‍රාස්ත්‍රීය කරුණු සමග ප්‍රායෝගික දැනුම සම්බන්ධ කරමින් එම විෂය හදුන්වා දීමයි. එ නිසා හින්දුස්ථානී සම්භාව්‍ය සංගීතය ක්‍රමානුකූලව සකස් කිරීම පිණිස ඔහු ගම් නගර පුරා සැරිසරා තව තවත් කරුණු රැස් කරන්නට විය. දස අත වෙසෙන දක්ෂ සංගීතඥයින් හමු වී සාකච්ඡා පවත්වා ඔවුන්ගේ අදහස් හා වාදන වලට සවන් දීම දිගටම කරමින් ඒවා ගවේෂණය කරන්නට ද පෙළඹිණි. හින්දුස්ථානී සම්භාව්‍ය සංගීත පද්ධතිය ක්‍රමවත්ව ඉගැන්වීම සදහා උසස් ආයතන ආරම්භ කිරීමේ වැදගත්කම ඔහුගේ මනසෙහි තදින් ක්‍රියාකරන්නට විය.

                     
  ඒ අනුව මෙතුමා 1916 බැරෝඩාවේ දී "All India Music Conference" නමින් මහා සංගීත සම්මේලනයක් සංවිධානය කළේය. බැරෝඩා සංගීත මහා විද්‍යාලයද එදිනම ආරම්භ කරන ලදී. ග්වාලියර්හි මහා රාජාගේ පූර්ණ සහයෝගය ඇතිව ග්වාලියර්හි "මාධව" සංගීත විද්‍යාලය එසමයේ ආරම්භ විය.

                       ලක්නව් මහා සම්මේලනය පැවැත්වීම සමග "මාරිස්" සංගීත මහා විද්‍යාලයද ඇරඹුණි.
       
                    මෙතුමා තෙළිගු, බෙංගාලි, ගුජරාටි, උර්දු, හින්දි, ජර්මන්, ග්‍රීක් සහ ඉංග්‍රීසි ආදී වශයෙන් භාෂා බොහෝ ගණනක් ඉතා හොදින් දැන සිටි භාෂා විශාරදයෙකි.  එමෙන්ම "අභිනව රාජමංජරී", "අභිනව තාල මංජරී",  "ලක්ෂ්‍ය සංගීතම්" , "හින්දුස්ථාන් සංගීත පද්ධති" , "කාණ්ඩ හයකින් සමන්විත ක්‍රමික පුස්තක් මාලිකා" , ස්වර මාලිකා සහ ගීත මාලිකා", "ග්‍රන්ථ සංගීතම්" , "භාව සංගීතම්" "A Short Historical Survey Of Music",  "Philosophy Of Music" යනා දී ග්‍රන්ථ මෙතුමා අතින් රචිත වටිනා ග්‍රන්ථ වේ.

                     1936 සැප්තැම්බර් 19 වන දින චතූර් පණ්ඩිත් විෂ්ණු නාරායන් භාත්ඛණ්ඩේ පඩිතුමා මෙලොව හැර ගියේය.
 



0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න