Pages

Thursday, June 9, 2016

කේ. ජයතිලක / k jayathilaka

                         
           1926 වර්ෂයේදී රඳාවාන, කන්නිමහර නැමති ගමෙහි කේ. ජයතිලක මහතා උපත ලැබීය. රඳාවානේ ආණ්ඩුවේ පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු පසු කලෙක කෙටි කතා කරුවෙකු, නවකතා කරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකු හැටියට ප්‍රසිද්ධ විය


                          කෙටි කතා කරුවෙකු ලෙස ඔහු මුල් කාලයේදී පුවත්පත් වලටද කෙටි කතා ලිව්වේය. එකගෙයි අවුරුද්ද, නොනිමි, සිත්තම, කටු සහ මල්, පුනරුත්පත්තිය, අතීරණය, වජිර පබ්බත නමින් ඔහු ලියූ කෙටි කතා සංග්‍රහයන් කිහිපයක් මුද්‍රණයෙන් නිකුත් විය.

                     මොහුගේ ළමා ග්‍රන්ථ හැටියට ඩිංගිරි, ඉස්සරහ බලන්නෝ, පුංචි වලාකුළ, හා පුංචි පුතා, ඉරුණ බළලා, ඩුං ඩුං ඩුඩුං ඩුං, කතන්දර පොත, අයියයි නංගියි, ඔරලෝසුව හා ලස්සන ළමයි, වන සටන, මිහිබට සුරපුර, රුවන් කුමාරි යනාදිය හැඳින්විය හැකිය.

                     පැරණි සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ විවරණ කිහිපයක්ම ජයතිලක මහතා විසින් ලියා පළ කොට තිබේ.එනම් දෛවයෝගය විචාරය, සාහිත්‍ය විචාර සටහන්, නවකතා කලාවේ විකාශනය යන ඒවාය.

                    පළමුව සාහිත්‍ය රුචිය ඔහු තුළ රෝපණය කරන ලද්දේ සිය මෑණියන් විසින් බව "පුංචි පැලේ ගස වෙනා" යන කෘතියෙහි ඔහු සඳහන් කරයි. "පුංචි කාලයේ රෑට බත් උයන අතර හැමදාම අපට කතන්දර කීම ඈ පුරුද්දක් කරගෙන සිටියාය. ඈට විශාල ජන කවි සංඛ්‍යාවක්ද කට පාඩම් වී තිබුණා" යැයි වැඩි දුරටත් ඔහු එහි ලා සඳහන් කරයි. කුමාරතුංග මුනිදාස මහතා ඔහුගේ පාසලට පැමිණ කළ දේශනයද කිසියම් ආකාරයකින් ලේඛකයෙකු වීමේ ආශාව ඔහු තුළ ජනිත කළ බව එම කෘතියෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

                     ජයතිලක මහතාගේ ජීවිතයේ විශේෂත්වය වන්නේ මුළු ජීවිත කාලයම ලේඛන කලාව වෙනුවෙන් කැප කිරීමයි. ඔහු නව කෘතීන් මුද්‍රණයෙන් බිහි කිරීම සඳහා ප්‍රකාශන ආයතනයක්ද පවත්වාගෙන යයි.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න