Pages

Friday, June 10, 2016

ගුණදාස අමරසේකර / gunadasa amarasekara

                       
ගුණදාස අමරසේකර මහතා 1929 නොවැම්බර් මස 12 වැනි දින යටලමත්තේදී උපත ලැබීය. ගමේ පාසලින් සහ කොළඹ නාලන්දා විදුහලින් අධ්‍යාපනය ලද ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. අනතුරුව රජයේ දන්ත වෛද්‍ය ආයතනයට බැදුණු ඔහු එහි අධිපති ධූරය දක්වා උසස්වීම් ලැබීය.


                        සිංහල නවකතාව තුළ කැපී පෙනෙන මහා ගත්කතුවරයෙකු ලෙස ගුණදාස අමරසේකර මහතා හැඳින්විය හැකිය. අමරසේකර මහතා සාහිත්‍ය ක්ෂේත්‍රයට මුලින්ම එකතු වන්නේ කෙටි කතා කරුවෙකු හැටියටයි. 1952 දී පළවූ "රතු රෝස මල" ඔහුගේ ප්‍රථම කෙටි කතා සංග්‍රහයයි. මොහු නවකතා කරුවෙකු ලෙස අවධානයට ලක් වූයේ "කරුමක්කාරයෝ" නව කතාවෙනි. කරුමක්කාරයෝ මෙන්ම 'දෙපා නොලද්දෝ' නව කතාවද සාහිත්‍ය විචාරකයින් අතර කතා බහට ලක් විය. 1958 දී ප්‍රකාශයට පත් කළ යළි උපන්නෙමි' අමරසේකර මහතාගේ පෙරළිකාර නවකතාව විය. 1967 දී 'ගන්ධබ්බ අපදානය' නව කතාවද නිකුත් විය.

                         මොහුගේ කාව්‍ය නිර්මාණ වශයෙන් භාව ගීත, උයනක හිඳ ලියූ කවි, අමල්බිසෝ, ගුරුළුවත, ආවර්ජනා යන ග්‍රන්ථ දැක්විය හැක.

                       1959 දී අමරසේකර සිය නිර්මාණකරණයේ ගමන් මඟ වෙනස් කළේය. එතෙක් ඔහු ලියූ කෘති ඔහු විසින්ම විවේචනයට ලක් කරන ලදී. පේරාදෙණිය ගුරුකුලය ඇතුළු එම යුගයේ ලේඛකයන්ගේ නිර්මාණ වලට බොහෝ විට පාදක වී ඇත්තේ බටහිර ආකෘතීන් හා සංකල්පයන් බව මෙතුමා විසින් පෙන්වා දෙන ලදී. මේ නිසා ලංකාවට ගැළපෙන සංකල්ප හා ආකෘති තුළින් නිර්මාණ බිහි කළ යුතු බව අමරසේකර මහතා අවධාරණය කළේය.

                    මෙම වෙනස් වීමෙන් පසු ගුණදාස අමරසේකර ලියූ කෘති වශයෙන් 'අසත්‍ය කතාවක්', 'ප්‍රේමයේ සත්‍ය කතාව', 'එක්ටැමින් පොළොවට', 'ගල් පිළිමය හා බොල් පිළිමය', 'ගමනක මුල', 'ගම් දොරෙන් එළියට', 'වංක ගිරිය' යන නිර්මාණ පෙන්වා දිය හැකිය.

                  80 දශකයෙන් පසු අමරසේකර හුදු සාහිත්‍ය කරණයෙහිම පමණක් නියැලීමෙන් බැහැරව දේශපාලනයට නැඹුරු විය. එයින් එතුමා බලාපොරොත්තු වූයේ ජාතිකත්වය පිළිබඳ හැඟීම මිනිසුන් අතරට ගෙන යාමයි. එම ආකල්පය ඇතිව "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද", "අබුද්දස්ස යුගයක්", "ගණදුරු මැදියම දකිනෙමි අරුණලු" යන කෘති එළි දැක්වීය.

                        

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න