Pages

Saturday, May 14, 2016

ලංකාවේ ධීවර කර්මාන්තය. / Sri Lankan fisheries industry.


* ලංකාවේ ධීවර කර්මාන්තය ප්‍රධාන ලෙස කොටස් තුනකි. එනම්, 

      1. කරදිය ධීවර කර්මාන්තය.
      2. මිරිදිය ධීවර කර්මාන්තය.
      3. කිවුල් දිය ධීවර කර්මාන්තය.

* කරදිය ධීවර කර්මාන්තය.
. කරදිය ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.


1. මහද්වීපික තටක ප්‍රදේශයේ හෙවත් වෙරළබඩ ධීවර කර්මාන්තය.
2. ඈත මුහුදේ ධීවර කර්මාන්තය හෙවත් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය.

                 ලංකාවේ මුළු කරදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 90% ක් පමණ ලබා ගන්නේ වෙරළබඩ නැතහොත් වෙරළාසන්න ධීවර බිම්වලිනි. වෙරළාසන්න මුහුදින් ලබාගන්නා ප්‍රධාන මත්ස්‍ය වර්ග වනුයේ හාල්මැස්සා, සාලයා, සූඩයා,හුරුල්ලා, රන්නා, කොස්සා, දැල්ලා, ඉස්සා, පොකිරිස්සා යනාදී වර්ගයි. මෙහිදී භාවිතා කරන ප්‍රධාන ආම්පන්න මා දැල් සහ කුඩා සිදුරු සහිත දැල්ය. තවද බිලීපිති හා අතංගු යනාදිය භාවිතා වේ.

               ඈත මුහුදේ ධීවර බිම්වලින් ලබා ගන්නා ප්‍රධාන මත්ස්‍ය වර්ග නම් ඇටවල්ලා, අලගුඩුවා, කුම්බලාවා, තලපතා, කොප්පරා, තෝරා, මෝරා,  බලයා සහ කෙලවල්ලා යනාදියයි. මෙහිදී භාවිතා කරන ප්‍රධාන ධීවර ආම්පන්න වනුයේ ලොකු සිදුරු සහිත පාවෙන කරමල් දැල් සහ මෝර මරුවැල් යනාදියයි.

* මිරිදිය ධීවර කර්මාන්තය.
              ලංකාව වර්ග කිලෝ මීටර් 1400 ක පමණ ජල වපසරියකින් යුත් මිරිදිය ජලාශ වලින් සමන්විතය. මෙරට බහුල ලෙස දැකිය හැකි මිරිදිය මසුන් නම් ලූලා, කොරලියා, පෙතියා, කනයා, හුංගා, මගුරා, ආඳා, මහවලයා, හිරිකනයා, හා තිලාපියා යනාදී වර්ගයි. මිරිදිය මසුන් බෝ කිරීමේ ම්‍යස්ථාන දඹුල්ල හා උඩවලව ඇතුලු තවත් ස්ථාන කිහිපයකම පිහිටුවා ඇත.

* කිවුල්දිය ධීවර කර්මාන්තය.
              කිවුල්දිය ධීවර කර්මාන්තය දැකිය හැක්කේ කලපු, මෝය, කඩොල් වගුරු, ලවන වගුරු යනාදී කිවුල්දිය පිරුණු ස්ථාන ආශ්‍රිතවය.ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් හා විසිතුරු මසුන් මේවායේ දැකිය හැකි ප්‍රධාන මත්ස්‍ය වර්ගයන්ය. ඉස්සන් ගොවිපොළවල්ද කිවුල්දිය ධීවර කර්මාන්තයට අයත්ය.වයඹ පළාතේ පුත්තලම, හලාවත ආශ්‍රිත වෙරළබඩ තීරය ඉස්සන් ගොවිපොළවල් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

* සාම්ප්‍රදායික නොවූ ධීවර කටයුතු.
             ඉහත කී ප්‍රධාන ධීවර කාර්මික අංශ හැරුණු කොට මුතු බෙල්ලන්, හක් බෙල්ලන්, මුහුදු කැකිරි, හා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල සිදු වේ. මෙම මුහුදු නිෂ්පාදන අපනයනය සඳහාම සිදු කෙරේ. චීනය ඒවායේ ප්‍රධාන ගැනුම් කරුවායි.

*  මුතු පර.
         ලංකාවේ මුතු බෙල්ලන් සඳහා ප්‍රසිද්දියක් උසුලන්නේ මන්නාරම් බොක්ක ආශ්‍රිතව මුතුපර පිහිටි ප්‍රදේශයන්ය. එහෙත් මෙම මුතු පරවල මුතු බෙල්ලන් ඇලලීම දැන් සිදු නොවේ. අවසාන වශයෙන් මේවායින් සාර්ථක ලෙස මුතු අස්වැන්නක් ලැබී ඇත්තේ 1925 හා 1958 යන වර්ෂ වලදීය.
          දැනට මන්නාරම් බොක්ක සහ පෝක් බොක්ක ආශ්‍රිත නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල හක් බෙල්ලන් ඇල්ලීම පමණක් සුළු වශයෙන් සිදු කෙරෙයි. ආභරණ සෑදීම සඳහා මෙම බෙල්ලන් උපයෝගී කර ගනියි.

* ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ධීවර යාත්‍රා.
          ඔරු, පාරු, තෙප්පම්, වල්ලම්, පහුරු, කට්ටු මරම්.

* ලංකාවේ යාන්ත්‍රික ධීවර යාත්‍රා. 
          පිටත සවි කළ එන්ජින් සහිත ධීවර යාත්‍රා.
          ටොන් 3 1/2 එක් දින ධීවර යාත්‍රා.
          බහු දින ධීවර යාත්‍රා.

* වර්තමාන ධීවර කර්මාන්තයේ නව තාක්ෂණය.
     . ප්‍රතිධ්වනි මානය.
             මුහුදේ ගැඹුර හා මාළු අහින් සිටින ස්ථාන නිශ්චිතවම දැන ගැනීමට උපකාරී වේ.

     . සෝනාර්
             මෙම උපකරණයෙන් මුහුද යට ඇති ගල් පර හා ගිලී ගිය නෞකා ආදී ධීවර යාත්‍රා වලට හානි සිදු කළ හැකි දේ ඇති ස්ථාන ගැනත් මාළු අහින් සහ මුහුදේ ගැඹුර ගැනත් දැන ගැනීමට හැකිය.

     . රේඩියෝ මෙවලම්
              ගොඩබිම ඇති ධීවර කටයුතු පිළිබඳ මධ්‍යස්ථාන වල පැය 24 ම ක්‍රියාත්මක වන රේඩියෝ පහසුකම් තිබේ.ඒවා ඇමතිය හැකි රේඩියෝ මෙවලම් නවීන ධීවරයාත්‍රා බොහොමයක ඇත. මේවා ඔස්සේ ගොඩබිම සමග ත් ඈත මුහුදේ තිබෙන ධීවර යාත්‍රා එකිනෙක අතර ත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යාත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන් මිදීමට මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

     . කාලගුණ දෙපාර්තමේන්තුවේ සහය
              කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මගින් වැස්ස, කුණාටු හා සැඩ සුළං ආදිය ගැන කල් තියා දැනගන්නා තොරතුරු රේඩියෝ මෙවලම් මඟින් ධීවරයන්ට දැනුම් දෙයි. එයින් ඔවුන්ට තමන්ගේත් යාත්‍රා වලත් ආරක්ෂාව සලස්වා ගැනීමට සහ එලැඹුණු තත්වයට මුහුණ දීම සඳහා සූදානම් වීමට අවස්ථාව සැලසේ.
             වැඩි ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ වර්ණය, එම ජලයේ උෂ්ණත්වය, මුහුදේ සුළං හැමීම, දිය වැල් ගැලීම, උදම් රළ නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක් රොක් වී සිටින තැන් සහ උන් පීනා යන දිශාව ආදී කරුණු ගැන නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල් NOAA/ AVHRR, TERRA/ MODIS/ IRSIC/ NIFS R ආදී චන්ද්‍රිකාවන්ගෙන් ලැබෙන තොරතුරු භාවිතා කෙරෙති.

      . විද්‍යාත්මක මත්ස්‍ය අභිජනනය
                ඉතා වේගයෙන් දියුණු වී ඇති ජීව විද්‍යාව හා ජෛව තාක්ෂණය ආදියේ උපකාරයෙන් කෑමට ප්‍රිය, රසැති, ගුණැති සහ අපථ්‍ය නොවන මත්ස්‍ය වර්ග තෝරා උන් දෙමුහුන් කිරීම ආදී ක්‍රම මඟින් නව වර්ග බිහි කර එම මත්ස්‍ය පැටවුන් වැව් ආදී අභ්‍යන්තර මිරිදිය ජලාශ වලට මුදා හැරීමේ ක්‍රමයක් ලංකාවේ මධ්‍යස්ථාන කිහිපයක සිදු වේ.

*  ලංකාවේ අපනයන මත්ස්‍ය නිෂ්පාදන වර්ග
        ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන්, මුහුදු කූඩැල්ලන්, විසිතුරු මසුන්, හක් බෙල්ලන්, බෙල්ලන්, මෝර වරල්, වියළි මත්ස්‍ය වර්ග, ශීත කළ මසුන්.

* මත්ස්‍ය නිෂ්පාදන ආනයනය
        ලංකාවට අවශ්‍ය ධීවර නිෂ්පාදන වලින් සෑහෙන ප්‍රමාණයක් විදේශ වලින් ආනයනය කෙරෙයි. කරවල, ටින් මාළු, ශීත කළ මාළු, උම්බලකඩ, වියළි හාල්මැස්සන් වැනි ධීවර නිෂ්පාදන ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඉන්දියාව, පාකිස්ථානය, ජපානය හා මාලදිවයින යන රටවලින් මේවා ආනයනය කෙරෙයි.

* ධීවර වරායන් පිහිටි ස්ථාන
         හලාවත, මීගමුව, කොළඹ, බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, මයිලිඩ්ඩි, ත්‍රිකුණාමලය.

* ධීවර වරායන්ට අමතරව මසුන් ගොඩ බාන අනෙකුත් ප්‍රධාන ප්‍රදේශ 
         පේසාලේ, මන්නාරම, කල්පිටිය, පුත්තලම, මොරටුව, බලපිටිය, වැලිගම, දෙවුන්දර, හම්බන්තොට, කල්මුනෙයි, මඩකලපුව, කෝකිලායි, මුලතිව්.

      

1 comments:

Unknown said...

GODAK STHTHUTHI...

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න