Pages

Monday, May 2, 2016

කෘෂි කර්මාන්තය. / Agriculture.



* ලංකාවේ කෘෂිකර්මය ප්‍රධාන කොටස් තුනකි. එනම්,
          1. යැපුම් කෘෂිකර්මය හෙවත් පාරිභෝගික කෘෂිකර්මය.
          2. ව්‍යාපාරික කෘෂිකර්මය.
          3. සත්ත්ව පාලනය.

       








                                                                     වී ගොවිතැන.

* විජය කුමරුගේ පැමිණීමට වසර 200 කට පමණ පෙර ලංකාවේ විසූ ආදි වාසීන් විසින් වී හදුනාගෙන තිබිණි.

* දැදුරු, මල්වතු, කලා, මහවැලි යන ගංඟා නිම්න වල වී වගාව මුලින්ම ආරම්භ වී රෝහණ දේශයේ මාගම හා දීඝවාපී ආදී ප්‍රදේශ වල ව්‍යාප්ත විය.

* රත් හාල්, හීනටි මා වී යනාදිය කුඹුරු වල වගා කරන අතර ඇල් වී ගොඩ කුඹුරු වල වගා කරයි.

* කුඹුරු වැඩ සඳහා අතීතයේ සිට සාම්ප්‍රදායික උපකරණ රැසක් භාවිතා විය. එනම් කොල දෙබල, දෑ කැත්ත, නගුල යනාදියයි.

* වර්තමානය වන විට නවීන වැඩ පහසුකර ගැනීමේ ක්‍රම භාවිතා කරයි.(ට්‍රැක්ටර් වැනි.)

* කෘමි නාශනය සඳහා කෙම් ක්‍රම, ලාටු ගෑ කුල්ල, ලාටු ගෑ රැහැන වැනි දේශිය ක්‍රම භාවිතා විය.

* යල ( අප්‍රේල් සිට සැප්තැම්බර්) සහ මහ ( ඔක්තෝබර් සිට ඊ ළඟ වර්ෂයේ මාර්තු) කන්න ප්‍රධාන වේ.

* කුඹුරු වපසරිය මැනීමට වී ආශ්‍රිත පෑල, යාල, අමුණ, බෙරය ආදී මිනුම් ක්‍රම භාවිතා විය.

* කුඹුරු වැඩ කිරීමේදී අත්තම් හා කයිය නැමති අන්‍යෝන්‍ය ශ්‍රම හුවමාරු ක්‍රම භාවිතා විය.

* කුඹුරු ගොවිතැන සඳහා අවශ්‍ය ජලය සපයා දීමට වැව්, අමුණු වේලි හා ඇළවල් තනා දීම රජුගේ වගකීමක් වූ අතර එම කටයුතු භාර අමාත්‍යවරු හා නිළධාරීන්ද පත්කොට තිබුණි. මේ කටයුතු සඳහා ගොවීන්ගේත් ගැමි ජනයාගේත් ශ්‍රමය ලැබිණි.

* වී පර්යේෂණායතන පිහිටි ස්ථාන.
       මහ ඉලුප්පල්ලම.
       හිඟුරක්ගොඩ.
       බතලේගොඩ.
       බෝඹුවල.

* වී පර්යේෂණායතන වලින් හඳුන්වා දෙනු ලැබූ වී වර්ග.
       මහ ඉලුප්පල්ලමින් එම්. අයි බීජ වර්ගය
       හිඟුරක්ගොඩින් එච්. බීජ වර්ගය
       බතලේ ගොඩින් බී. ජී. බීජ වර්ගය

* ලංකාවේ වී වගා කරන ප්‍රදේශ.
       සාමාන්‍යයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වී වගා කරයි. එහෙත් වැඩිපුරම වී වගා බිම් ඇති දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට හා ත්‍රිකුණාමලයයි.

* කඳුකරයේ හෙල්මළු වී වගා බිම් වැඩි වශයෙන් පවතින ප්‍රදේශ.
         (හෙල්මළු යනු වී ගොවිතැන් කිරීම සඳහා ක්‍රමානුකූලව සකස් කරන ලද පඩි පේළි වැනි පටු ලියදිය.)
          දුම්බර සහ හේවාහැට.

* ඇල් වී.
      මඩෙහි හෙවත් කුඹුරෙහි වපුරන ලබන වී "මඩ වී" යනුවෙන් හැඳින්වේ. "ඇල් වී" යනුවෙන් හැඳින්වෙන්නේ හේන්වල වපුරන වී ය. මේවා " ගොඩ වී" යනුවෙන්ද හැඳින්වේ. මඩ වී මෙන්ම ඇල් වී වර්ගද කිහිපයක් තිබේ. ඒ අතර රසයෙන් මෙන්ම සුවඳින්ද ප්‍රසිද්ධ ඇල් වී වර්ගයක් වනුයේ " රත්දල්" ය.

* ලංකාවේ ගොයම් වලට හානි කරන ප්‍රධාන පලිබෝධක.
         කහ පුරුක් පණුවා.
         ගොඩ වෙල්ලා.
         කොපු පණුවා.
         ගොයම් මැස්සා.
         දුඹුරු පැළ කීඩෑවා.


             * හේන් ගොවිතැන.

* ලංකාවේ මුල්ම ගොවිතැන් ක්‍රමය හේන් ගොවිතැන බව විද්වත් මතයයි.

* ඉඩම් තෝරාගෙන කැළෑ ගිනි තැබීම ඉන් පසු ධාන්‍ය වගා කිරීම, වැටවල් තනා හේන ආරක්ෂා කර ගැනීම ප්‍රධාන අංග විය.

*තල, උඳු, මෑ, කුරක්කන්, අබ, බටු වර්ග, වට්ටක්කා ආදිය හේන් වල වවන ලදී. අස්වැන්න අඩු වූ විට වෙනත් හේනක් සකසා ගැනීම සිදු විය.

* හේන් ගොවීහු අතීතයේදී 'කැති අඩ', ' සෙහෙන් කෙටුසර අය',  'සෙහෙන් කෙටුම් අය', 'කෙටූ කනබ අය' ආදී බදු රජුට ගෙවූ බව සෙල් ලිපි වලින් හෙලි වේ.

* හේන් ගොවිතැන වැඩි වශයෙන් දක්නට ඇත්තේ.
      උතුරු මැද, වයඹ හා නැගෙනහිර යන පළාත් වලය.

                        * යැපුම් කෘෂිකර්මය හෙවත් පාරිභෝගික කෘෂිකර්මය.
  මෙයින් අදහස් වන්නේ පුද්ගලයින් විසින් හුදෙක් තම පාරිභෝජනය සඳහාම කරනු ලබන කෘෂිකර්මයයි. මේ සඳහා ගෙවතු වගාව ආදී ක්‍රම භාවිතා කළහ. පාරිභෝජනයෙන් පසු අතිරික්තයක් පැවතුණහොත් ඒවා අලෙවි කරනු ලබයි. අප රට යැපුම් කෘෂිකමයෙහි ලා ගැනෙන භෝග නම් වී, කුරක්කන්, ඉරිඟු, තල, මුං, කව්පි,සෝයා, විවිධ අලවර්ග, මිරිස්, රතු ළුෑණු, ඉඟුරු, කජු, රට කජු හා විවිධ එළවළු වර්ග යනාදියයි.

            * ව්‍යාපාරික කෘෂිකර්මය. ( වාණිජ භෝග.)
 ලංකාවේ ව්‍යාපාරික කෘෂිකර්මය, වතු වගාව, වතු කෘෂිකර්මය යනුවෙන්ද හැඳින්වෙයි. මෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ මුදල් ඉපයීමේ පරමාර්ථය මුල් කරගෙනම වගා කටයුතු සිදු කිරීමයි. මෙරට වාණිජ භෝග වගා කිරීම ආරම්භ වූයේ යුරෝපියයන්ගේ පැමිණීමෙන් පසුවයි. ඔවුන්ගෙන් පෘතිග්‍රීසිහු මෙරට ග්‍රාමීය පළාත්වල කුඩා ඉඩම් වශයෙන් කුරුඳු වගා කිරීම ඇරඹූහ. ලන්දේසීහු පෘතුග්‍රීසීන් අනුගමනය කරමින් කුරුඳු වගාව ව්‍යාප්ත කරන අතරම උක් වැනි භෝග වතු සේ වගා කිරීම හඳුන්වා දුන්හ. ඉංග්‍රීසිහු කෝපි, සිංකෝනා, තේ, රබර් හා කොකෝවා විශාල වතු වශයෙන් වවමින් අර්ධ වාණිජ භෝගයක් සේ පොල් වැවීම කෙරෙහි උනන්දු වූහ.

                  ලංකාව‍ේ මුල්ම කෝපි වත්ත1823 දී ගම්පොළ ආරම්භ කෙරුණි. ඉන්පසු හෙක්ටයාර් 1,40,000 ක පමණ බිම් ප්‍රමාණයක කෝපි වතු ව්‍යාප්තව පැවතී ඇත. වර්ෂ 1880 වකවානුවේදී දිලීර රෝගයක් නිසා කෝපි වගාව විනාශයට පත් වී තිබේ.

                  කෝපි වගාවෙන් පසු මෙරට ප්‍රචලිත වූයේ තේ වගාවය. මුල්ම තේ වත්ත 1867 දී මහනුවර දිස්ත්‍රික්කයේ හේවා හැට දී ආරම්භ විය.

                  රබර් වගාව ලංකාවට අවතීර්ණ වූයේ රබර් ආකර්ශණීය වෙළඳ භාණ්ඩයක් වූ නිසාත් රබර්වගාවට හිතකර ස්වභාවික තත්වයක් ලංකාව තුළ මැනවින් පැවතීමත් නිසාය. ලංකාවට රබර් ගස හඳුන්වා දී ඇත්තේ 1876 දීය. මෙම වර්ෂයේදී මහා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද පේරාදෙණිය, හෙනරත්ගොඩ, යන උද්භිත උද්‍යාන වල මුලින්ම රෝපණය කරවා ඇත. 1890 පමණ වන විට හෙක්ටයාර 100 ක් පමණ රබර් වතු ලංකාවේ පැවතී ඇත.

                     ලංකාවේ දැනට ව්‍යාපාරික මටටමින් කෙරෙන ප්‍රධාන භෝගයක් වන වතු පොල් වගාව පිළිබඳ ඉතා පැරණි ඉතිහාසයක් ඇත. පොල් වගාව ලාංකික ජන ජීවිතය හා ඉතා සමීප ලෙස බැදී පවතී. පොළොන්නරු යුගයේදී පොල් පාරිභෝජනය පිළිබඳ තොරතුරු චූල වංශයේ සඳහන් වේ. පසු කාලීනව ලන්දේසීන් විසින් මෙරට පොල් වගාව දියුණු කිරීමට අනුබල දී ඇත. එහෙත් ලංකාවේ පොල් වගාව වැඩි උනන්දුවකින් දියුණු කරවා ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසිනි.

* ලංකාවේ ප්‍රධාන වැවිලි පිළිබඳ දත්තයන්.
    තේ.
. උඩරට තේ මුහුදු මට්ටමින් 1200m ට ඉහල ප්‍රදේශ වලත්,
 මැදරට තේ මුහුදු මට්ටමින් 600m හා 1200m අතර උසැති ප්‍රදේශ වලත්,
 පහතරට තේ මුහුදු මට්ටමින් 600m ට වඩා පහළ ප්‍රදේශ වලත් වැවේ.

. ලංකාවේ වැඩිපුර වගා කෙරෙන්නේ උඩරට තේය.

. අවුරුද්ද පුරා පැතිරුණු මි.මී 2000 - 5460 දක්වා වූ වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍යයයි.

. තේ බහුලව වගා කරන දිස්ත්‍රික්ක ලෙස මහනුවර, බදුල්ල, නුවරඑළිය, රත්නපුරය,    මාතලේ ගාල්ල හා මාතර හැඳින්විය හැකිය.

. ලංකාව කළු තේ, හරත තේ සහ ක්ෂණික තේ නිපදවයි.

. යුරෝපීය සංගමය, මැද පෙරදිග රටවල්, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, පාකිස්ථානය, තුර්කිය, සිංගප්පූරුව සහ එක්සත් ජනපදය යන රටවල්  ශ්‍රී ලංකා තේ මිලට ගනියි.

        රබර්.
. රබර් වගා කෙරෙන්නේ මුහුදු මට්ටමින් 300 m දක්වා වන උස් බිම් වලයි.

. අවුරුද්ද පුරා පැතිරුණු මි.මී. 2000 ට වැඩි වර්ෂාපතනයක් අවශ්‍යයයි.

. කෑගල්ල, කළුතර, රත්නපුරය, මාතලේ, කොළඹ, ගාල්ල, මාතර හා මහනුවර යන දිස්ත්‍රික්ක වල රබර් වගා කෙරේ.

. ෂීට් රබර්, ක්‍රේප් රබර්, කුට්ටි රබර්, දුම් ගැස්සූ රබර් හා සාන්ද්‍රිත රබර් කිරි යනාදිය ලංකාවේ රබර් නිෂ්පාදනයි.

. චීනය, බංගලාදේශය, ඒකාබද්ධ රාජ්‍යය, ඉරාකය, ජපානය, කොරියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, මෙක්සිකෝව හා ජර්මනිය ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන මිලදී ගනියි.

      පොල්.
. කොළඹ, කුරුණෑගල හා හලාවත සම්බන්ධ කෙරෙන ත්‍රිකෝණාකාර පෙදෙස ( පොල් ත්‍රිකෝණය ) සහ කොළඹ සිට තංගල්ල දක්වා වූ පටු මුහුදුබඩ බිම් තීරය පොල් වැවෙන ප්‍රදේශයි.

. මුහුදු මට්ටමින් මීටර් 300 ට වඩා පහතින් පිහිටි වාර්ෂික වර්ෂාපතනය මි.මී 2000 සහ 2500 අතර ලැබෙන ප්‍රදේශ පොල් වගාවට ඉතා යෝග්‍යය.

. විවිධ පොල් නිෂ්පාදන ඇත. ඒවා නම් මෙසේය.

    1. පොල් තෙල්, කොප්පරා, පුන්නක්කු, මාගරින, සබන්, පොල් කිරි පිටි, කපාපු පොල් ( DC)

    2. පොල් කටු හැඳි, පොල් කටු වලින් සාදන විසිතුරු බඩු.

    3. ලණු, ලොකු කඹ, බුරුසු, ලණු පැදුරු, කොසු, පාපිසි.

    4. පරාල, රීප්ප, උළුවහු, ජනෙල්, විසිතුරු දැව භාණ්ඩ.

    5. රා, විනාකිරි, පැණි , අරක්කු හා විවිධ මත්පැන් නිපදවන මධ්‍යසාර.

 . ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනයෙන් 70% ට පමණ දේශීය පරිභෝජනය සඳහා ගනු ලබයි.

                * සුළු අපනයන භෝග.
. කුරුඳු.
   . තෙත වියළි තැනිතලා බිම්වල වැවේ.
   . කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට හා ගම්පහ යන දිස්ත්‍රික්ක වල කුරුඳු වගාව වැඩියෙන් දක්නට ලැබේ.

. කෝපි.
    . මුහුදු මට්ටමින් මීටර් 750 දක්වා උසැති පෙදෙස්වල වැවේ.

    . වාර්ෂික වර්ෂාපතනය මි.මී 1770 සහ 2030 අතර වීම අවශ්‍ය වේ.

    . කළුතර, රත්නපුරය, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රික්ක වල වැවේ.

කරදමුංගු, කරාබු නැටි, සාදික්කා.
    . වාරෂික වර්ෂාපතනය මි.මී 1500 ක් වූ කඳුකර ප්‍රදෙශවල වැවෙ.

    . මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම භෝග වැවේ.

                     * විවිධ භෝග සඳහා ප්‍රසිද්ද ප්‍රදේශ.

. කජු - පුත්තලම, බටලීය, නැදගමුව, ගම්පහ.

. අන්නාසි - ගම්පහ, මිනුවන්ගොඩ.

. රඹුටන් - මල්වාන.

. දොඩම් - බිබිල, ඌරණිය, වැල්ලවාය.

. මැංගුස් - කළුතර.

. එළවළු - නුවරඑළිය, රාගල, වැලිමඩ, දඹුල්ල.

. තේ - නුවර එළිය, දෙණියාය.

. තල් - යාපනය, පුත්තලම, කල්පිටිය.

. පොල් - හලාවත, කුරුණෑගල, ලුණුවිල.

. ළුෑණු - යාපනය.

. මිදි - යාපනය.

. මිරිස් - යාපනය.

. අර්තාපල් - නුවරඑළිය.





  

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න