රද්දොළුව ගමේ පාසලින් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට පිවිස පසුව ස්වෝත්සාහයෙන්ම පෙර අපර දෙදිගම භාෂා කිහිපයක නිපුණත්වය ලැබූ එතුමාගේ විශේෂ විෂය වූයේ ඉතිහාසයයි. එහෙයින් එතුමා ලියූ හැම පොතකම සෑම නාට්‍යයකම මේ දැනුම ඉස්මතු වී පෙනේ. ගුරු ජීවිතයේදී ඇසුරු කරන්නට ලැබුණු කුමාරතුංග මුනිදාස මහතා නිසා සිංහල භාෂාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති වූයෙන් එතුමා හෙළ හවුලේ ආරම්භක සාමාජිකයෙකුව සිට පසුව එහි නායකත්වය දැරීය.
රැපියෙල් තෙන්නකෝන් මහතාගේ කෘතීන් තුළ කැපී පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ උපහාස රසයයි. මුනිදාස කුමාරතුංග මහතා වෙතින් "කිවිසුරු"නම් සම්මානය ලද එතුමාගේ ප්‍රසිද්ධම කාව්‍ය වන්නේ "වවුලුව" යි. ඊට අමතරව "හැවිල්ල", "දෑ විනය" , "පඬු ඇඹුල", "සක් පුබුදුව", "රුප්පෙ අන්දරය", "මුළුතැන අන්දරය" , පද්‍ය 5302 කින් යුත් "ගමායණය" , පද්‍ය 2500කින් යුත් "සිංහල වංශය" ආදී නිර්මාණ රැසක්ම එතුමා විසින් කරන ලදී.
කාව්‍ය නිර්මාණයෙහි මහත් දක්ෂතාවක් දැක් වූ එතුමා ගේ කවි තුළ එළිසමයට ගැති වීමක් හෝ විරිතට ගැති වීමක් දක්නට නැත.
ඔහුගේ ගද්‍ය නිර්මාණ අතර "කවුඩුව", "ගියකල" , "බස්පාර" යන කෘතිද, සාහිත්‍ය විවේචන අතර "අපේ කවි" හා "අපේ අසුන් කවි" ද වේ. මීට අමතරව මෙතුමා අතින් ගුත්තිල කාව්‍යයටත් හංස, ගිරා, සැළලිහිණි ආදී සංදේශ වලටත් තවත් සම්භාව්‍ය ග්‍රන්ථ වලටත් විවරණ සැපයිණි.
මොහුගේ නිර්මාණ අතරින් 1956 වසරේදී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලියූ "සිංහල වංශය" කාව්‍යය රාජ්‍ය සම්මාන හිමිකර ගත්තේය.
0 comments:
Post a Comment