Pages

Friday, May 20, 2016

සංචාරක ව්‍යාපාරය. / Tourism.

* ලාභදායී කර්මාන්තයක් වූ සංචාරක කර්මාන්තය.
               ලංකාවේ සංචාරක කර්මාන්තය නිසා විදේශීය ආදායමට විශාල දායකත්වයක් ලැබේ. විදේශ විනිමයද ලැබෙයි. 1960 වර්ෂයෙන් පසුව ලංකාවේ සංචාරක කර්මාන්තයේ විධිමත් සංවර්ධනයක් සිදු විය.


               මෙම ක්ෂේත්‍රයේ වර්ධනීය පියවරක් ලෙස 1966 වර්ෂයේදී ලංකාවේ සංචාරක මණ්ඩලය පිහිටු වීම සිදු විය. ඉන්පසු ලංකාවේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයක්ද ස්ථාපනය විය. 1992 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්වා වූ දස වසර තුළ සංචාරක ව්‍යාපාරයට අදාළ දස අවුරුදු සැළැස්මක් ක්‍රියාත්මක වීම සුවිශේෂී වූ පියවරක් ලෙස සැළකිය හැක.

* ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන අවශ්‍යතා.
             ලංකාවට මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපය, දකුණු අප්‍රිකාව, මධ්‍යධරණී රටවල්, රුසියාව, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, හා ඕස්ට්‍රේලියාව යන දේශ වලින් සංචාරකයෝ වැඩිපුර පැමිණෙති. ඔවුන් මෙරටට පැමිණීමේ ප්‍රධාන පරමාර්ථ කිහිපයකි. එනම්,
     
    1. විනෝදාස්වාදය ලැබීම.
    2. නිවාඩු කාලය ගත කිරීම.
    3. ව්‍යාපාරික කටයුතු කිරීම.
    4. සංස්කෘතික, ඓතිහාසික හා කලාත්මක දේ ආස්වාදනය කිරීම.
    5. ශාස්ත්‍රීය අධ්‍යාපනික හා පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක කටයුතුවල යෙදීම.
    6. ආගමික කටයුතු වලට සහභාගී වීම.
    7. ස්වභාව සෞන්දර්යය නැරඹීම.

* ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට හේතු වන සාධක.
     1. ලංකාවේ දර්ශනීය ස්වභාවික වන කලාප, වන ජීව නිකේතන, ගංගා, ඇළ දොළ, දිය ඇළි හා දැකුම්කලු මුහුදු තීර ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක් වීම.

     2. අති පෞරාණික ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක ලක්ෂණ පිළිබිඹු කරන නටඹුන් සහිත නගර රැසක් පැවතීම.

     3. ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හා සුහදතාවය පිළිබඳව ලොව පැතිර ඇති කීර්තිය.

     4. වෙනත් බොහෝ රටවල් හා සසඳන කල ලංකාවේ ආහාර පාන, ඇදුම් පැළදුම්, ඉදුම් හිටුම් සහ ප්‍රවාහන ගාස්තු ආදිය අඩු මිලක පැවතීම නිසා සාමාන්‍ය සංචාරකයන්ට මිල අඩු නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලැබීම.

    5. එලෙසින්ම ලංකාවේ නාට්‍ය ශාලා, සිනමා ශාලා, කෞතුකාගාර, වනෝද්‍යාන හා සත්වෝද්‍යාන ආදියට ඇතුළුවීම සඳහා ගෙවිය යුතු ගාස්තු සාපේක්ෂව පහත මට්ටමක පැවතීම.

    6. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, පඬුවස්නුවර, යාපහුව හා මහනුවර, ආදී නගරවල දක්නට ලැබෙන පෞරාණික නටබුන් සහිත ස්ථාන වලට පිවිසීමේ ගාස්තු අය නොකිරීම.

     7. ලංකාවේ ඉතාම ප්‍රශස්ත දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර, ඖෂධ හා චිකිත්සා ක්‍රම පැවතීම.

     8. ආගමික සංහිඳියාව අපේක්ෂා කරන විදේශිකයින්ට ඉතා පහසුවෙන් පිවිසිය හැකි ආරණ්‍ය සේනාසන සහ භාවනා මධ්‍යස්ථාන රැසක් තිබීම.

     9. මානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක යන ශාස්ත්‍රීය අංශ පිළිබඳව උනන්දුවක් දක්වන විදේශීය විද්‍යාර්ථීන්ට ඉතා වැදගත් වන යාතු කර්ම, ආගමික චාරිත්‍ර, සංස්කෘතික අංග හා ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස පැවති ස්ථාන තිබීම.


* සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට ලැබෙන ප්‍රතිලාභ.
     1. දේශීය ආදායම වර්ධනය වීම.
     2. විදේශ විනිමය ලැබීම.
     3. සංචාරක සේවාව ආශ්‍රිත රැකියා නියුක්තිය ඉහළ යාම.
     4. සංචාරක පිරිස් වැඩිපුර පැමිණෙන ප්‍රදේශ විශේෂ සංවර්ධනයට ලක් වීම.
     5. අභය භූමි, උද්භිත උද්‍යාන හා සත්ත්වෝද්‍යාන ආදියේ පාලනය හා නඩත්තුව විධිමත් වීම.
     6. සාම්ප්‍රදායික කර්මාන්තවල නියුතු අයගේ අභිවෘද්ධිය සැලසීම හා ආදායම් තරවීම. ( රූකඩ, බතික්, පිත්තල භාණ්ඩ)
     7. සාම්ප්‍රදායික කලා ශිල්පීන්ගේ අභිවෘද්ධිය සැලසීම සහ එම කලා ශිල්ප පිළිබඳව අන්තර්ජාතික ප්‍රසිද්ධියක් ලැබීම. ( උඩරට නැටුම් කලාව, පහතරට නැටුම් කලාව, දේශීය චිත්‍ර කලාව, ලී කැටයම්, ජන සංගීතය.)
     8. අන්තර්ජාතික සහජීවනයට යොමු වූ මාර්ග පෑදීම.
     9. ලංකාවේ තරුණ පිරිස තුළ විදේශීය භාෂා ඉගෙනීමේ උනන්දුවක් ඇති වීම.
   10. දේශයේ යහපත් අංශ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලැබීම.

0 comments:

Post a Comment

අප සමග එකතු ‍වෙන්න

අප සමග එකතු ‍වෙන්න
එන්න අප සමග එකතු වෙන්න. අපව Like කරන්න